ගල් ගැසුණු මතකයන්

සීතලට ගල් ගැසුණු විට
මතකයන් කල් තබා ගත හැකි බව
කවුරු හෝ කිසි දිනක
කියා ඇත මට

ශිශිරයේ දිග රැයක, හිරි වැටෙන සීතලක
කවුළුවක් හැර දමමි මම
හුදෙකලාව ගල්ගැහුණු
සුසුම් රොදක් තුළ
තුහින රටා දකින්නෙමි මම
අළු පාට රටා මැද
නුඹේ නෙත් දකිමි මම.

හිරි වැටෙන ඇඟිලි තුඩු
සෙමෙන් පිරි මදිමි මම
සීතල ම හිම වැටෙන
සරසවිය ඈතින් පෙනෙයි මට
උණුසුම් ම හැඟීමක
මතකයක් ගුලි කර
සෙමෙන් වැටෙන හිම පියල්ලක් මත
පරෙස්සමෙන් තබන්නෙමි මම

ගල් ගැසුණු මතකයක්
සීරුවට ගනිමි මම
මතු දිනක නුඹ ලබන තෙක්
හදවතේ කෙළවරක
සඟවා තබමි මම
ආදරයේ උණුහුමින්
හිම දිය වී මෙළෙක් වන විට
යළිත්, යළි යළිත්
හිම මතින් තබමි මම

සීතලට ගල් ගැසුණු මතකයන්
කල්තබා ගත හැකි යයි
තදින් ම දැනෙයි මට
තවත් මතකයක් පරෙස්සමින් ගෙන
හිම පියල්ලක තබන්නෙමි මම

1 comments:

Post a Comment