කවුළුවෙන් එපිට වසන්තය

කාමරය පුරා දෑස් ඔබ මොබ දුවන්නට විය..

තැන් තැන් වල
අවුස්සා දැමූ 
කඩදාසි ගොඩවල් ය...
තවත් තැනෙක
ගොඩ ගැසුණු
කිලිටි රෙදි තොගයකි..
දාස් (Daas) පොත මත
දුවිලි බැඳී ඇත..
වසා නොදැමූ ජනේලයේ
මකුළු දැල මත
කෘමී ශේෂ රැසකි..

හෙමින් සීරුවේ කවුළුව වෙතට ලං වුනෙමි..

වසන්තයේ පිපි
සුන්දර කුසුම්
තවමත් විකසිත ය..
අතුපතර විහිදූ
මැයි ගස
කොළ නොපෙනෙන තරම් ම
රතු පැහැතිය..

කවුළුවෙන් එපිට වසන්තයේ මා කොටසක් නොවන නිසා,

වසා දැමුවෙමි ජනේලය
මහා හඬින්..
පියනට හසු වුණු
මකුළුවා
යන්තමින්
අඬුවක් සොලවනු
දුටුවෙමි!!



යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම

අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව..



ස්ථානය : University of Ruhuna - Faculty of Engineering, LT 01
වේලාව  : දහවල් 12.30 

අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" කියවා ඇහුණු නිසා ටිකක් පස්සට ඇවිත් මොකාද මේ කියලා බලද්දී කොහේදෝ ඉඳලා දුවගෙන ආවේ චොකා. 

"මචං. පොඩි අවුලක්. ටිකකට ගාලු ගිහින් එමු ද?"

මළා..ගෙදරට වාත වෙලා වෙලා පැට්‍රොල් ටික ගහ ගත්ත ගමන් මොකෙක් හරි හෙනහුරෙක් පහත් වෙනවා නේ.. මොනවා කරන්න ද! බැචා නේ..

"මොකෝ මචං සීන් එක?"

"නෑ බං.. අපේ අක්කගේ යාලුවෙක් අද ගාලු ඇවිත්. එයාට ටිකක් අසනීපයි ලු. Faint වෙනවා කියල කිව්වා. පොඩ්ඩක් බලන්න ලු. ධර්මපාල පාක් එකේ ලු දැන් ඉන්නේ"

ලෙඩකට දුකකට නැති බයික් එක ගිනි තියපිය කිව්වලු!

"අඩේ.. එහෙම ද? එහෙනම් යමන්.. "

පහළට ඇවිත්, නවත්තලා තිබුණු බයික් එකකින් හෙල්මට් එකකුත් ගත්ත අපි ගාල්ල දිහාවට ඇදුණා. ටික වෙලාවක් යද්දී චොකා ආයෙත් එයාගේ අක්කට කෝල් එකක් දුන්නා. දෙන්නා මොන මොනවදෝ කතා වෙනවා ඇහුණත් අනුන්ගේ කතා වලට කන් නොදෙන හොඳ ළමයෙක් හින්දා රැංගෝ ඒ පැත්තට කන දැම්මේ නෑ..

"මචං.. වැඩේ ටිකක් දරුණුයි ලු. මේ අක්කගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ලු. පැරෙක් (parallel batch එකක කෙනෙක්) ලු.. කොල්ලගේ සීන් එකක් හින්දා පැනඩෝල් බීලා කියලා කිව්වා..දැන් එතන යාළුවො දෙන්නෙක් ඉන්නවා ලු. හැබැයි ඒ එයාගේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙක් ලු.. එයා අඳුනන්නේ නෑ ලු.. අපිට පුළුවන් නම් hospital එකට admit කරන්න කිව්වා"

කිරි අප්පට බල්ලෝ බුරාපිය.. මේ මොකද්ද බොලේ මේ වෙන්න යන්නේ.. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම.. අපරාධ නීතිය යටතේ නඩු දාන්න පුළුවන් වැරද්දක්.. විශ්වාස නැති කෙනෙක් ඉන්නවා නම් අපේ දයානන්ද රත්නායක අයියාගෙන් අහ ගන්න පුළුවන්!!

"කලින් කියන්න එපයි බං. එහෙනම් ලත වෙන්න බෑ නේ.. " 

මම දෙන්න පුළුවන් උපරිමෙන් ම gas දීලා බයික් එක. ධර්මපාල පාක් එක පැත්තට ගත්තා.. පාරේ හිටපු එවුන් බනිනවා වගේ යන්තමින් ඇහුණත් ජීවිතයක ඉරණම විසඳෙන්න තියෙන වෙලාවේ මාර්ග නීති ගැන සැලකිලිමත් වෙවී ලත වෙන්න හිත දුන්නේ නෑ. 

අන්තිමට අපි ධර්මපාල උද්‍යානය ළඟ.. ඇතුලට යන්න හදද්දී ම දොරටුව ළඟ හිටපු කෙනා කතා කළා.. 

"අයියේ.. අපේ යාලුවෙක් අසනීප වෙලා.. එයාව hospital එකට ගෙනියන්න ආවේ. ඇතුළට ගියාට අවුලක් නෑ නේ?"

"එයාට එලියට එන්න කියන්න. නැත්නම් ටිකට් එකක් ගන්න"

ඒක කියපු විදියට හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න හිතුනත්, වාද කර කර අපතේ යවන්න වෙලාවක් නොවුණු නිසා රුපියල් 20 ක් දීලා ටිකට් දෙකක් අරගෙන ඇතුළට ගිහින් යන්තම් අදාල පුද්ගලයෝ තුන් දෙනා හොයා ගත්තා. හිටපු යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් නම් මම දන්නා කියන නංගි කෙනෙක්.ඒ වෙද්දීත් පැනඩෝල් බීපු අක්කා වමනය දාලා තිබුණා. ටිකක් අසනීප ගතියක් තිබුණත් වෛද්‍යවරයෙක් හමු වීම ප්‍රතික්ෂේප කරපු ඇය, මහරගම බස් එකකට නග්ගන්න කියලා විතරක් කිව්වා.. අපි කොච්චර උත්සාහ කළත් ඇය අපේ මතයට එකඟ වුනේ නැහැ. නගරය මැද දී කෙල්ලෙක්ව බලෙන් ඇදගෙන යන්නත් බැහැ. පාරේ හැම තැන ම සේවයේ නියුතු පොලිස් නිලධාරීන්. එහෙම වුනොත් අනිවාර්යයෙන් ම ප්‍රශ්නය දුර දිග යනවා. ඒ හින්දා අපි එයාට යන්න දුන්නා. නමුත් බෑග් එකේ තිබුණු, ඉතිරි බෙහෙත් ටික ඉවත් කර ගත්තා.. ඒ වෙද්දී ඇය මිලදී ගත්ත පැනඩෝල් කාඩ් හතරෙන් එකකුත් තවත් පෙති 5ක් පමණ ප්‍රමාණයක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊට අමතරව පිරිටන් පෙති කිහිපයකුත් තිබුණා. තව මහා ගොඩක් පෙති වර්ග තිබුණා. ඒ හැම එකක් ම ඉවත් කරගෙන ඇයට යන්න දීලා, ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඊළඟට චොකාගේ අක්කට කතා කරලා, බස් එක මහරගමට එන වෙලාව වෙද්දී එතැනට ඇවිත් ඇය ව ගන්න කියලා කිව්වා.. ඒ කටයුතු ටික ඉවරයක්‌ කරලා අපි ගාල්ලෙන් එද්දී පැය දෙකකටත් වඩා ගත වෙලා.




මේ පොස්ට් එක ලිව්වේ ඒ සිද්ධිය ගැන කියන්න ම නෙවෙයි. අපි ඒ අත්වින්දේ එක සිද්ධියක් විතරයි. ආදර සම්බන්ධතා බිඳ වැටීම නිසා දිනපතා කී දෙනෙක් නම් සියදිවි නසා ගන්න පෙළඹෙනවා ද? මේ කතාවේ කතා නායිකාව, ලංකාවේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇය අද ගාලු ඇවිත් තිබුණේ ඇගේ පෙම්වතා මුණ ගැහෙන්න.. ඔහුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. දෙදෙනා අතර ඇති වුණු කුමක් හෝ ප්‍රශ්නයක් නිසා ඇය සියදිවි නසා ගන්න තීරණය කළා. ඒ බව ඇගේ හොඳ ම මිතුරියකට දැනුම් දීම හරහා යි අපි මේ කතාවට සම්බන්ධ වුනේ. අර මිතුරියන් දෙදෙනා අපට කලින් එතැනට නොඑන්නට සමහර විට ඇය අද ජීවතුන් අතර නොසිටින්නට තිබුණා. 

හෙට සමාජයේ වගකිව යුතු තැන් වලට පත් වෙන්න සුදුසුකම් සපුරන්නන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මගේ හැගීම. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමණයි. ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කරන්නට සමහර විට ඒ ආදරය හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ම ජීවිතය සාර්ථකත්වය සඳහා ගෙන යන්න ආදරය එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ආදරය නිසා ජීවිතයක් නැති කර ගන්නට යෙදෙනවා නම්, එතන පැහැදිලිව ම වරදක් තිබිය යුතුයි.. 

ආදරය වෙනුවෙන් ජීවිතය නැති කර ගැනීම සාධාරණීකරණය කරන්නන් දක්වන එක් උදාහරණයක් වන්නේ රෝමියෝ ජුලියට් කතාන්දරය. මෙය කිසිසේත් ම තර්කානුකුල නැහැ. ජුලියට් මිය ගියා යි සිතු රෝමියෝ කලබල වී සිය දිවි නසා නොගන්නට, ඔවුන් දෙදෙනාට සතුටින් ජීවත් වන්නට ඉඩ තිබුණා.. 

වසර ගණනාවක් ගෙවූ ජීවිතය නැති කර ගත යුතු යි තීරණය කරන්නට මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් බැරි බව අප වටහා ගත යුතුයි. ආදරය වෙනුවෙන් සියදිවි නසා ගන්නවාට වඩා ඒ ආදරය වෙනුවෙන් ම ජීවත් වීම උතුම් දෙයක්. අප ආදරය කරන කෙනා අපට අහිමි වීම නිසා අපි ජීවිතය අහිමි කර ගැනීමෙන් අපි රිද්දන්නේ ඒ පුද්ගලයාට පමණක් නොවෙයි. 

බඩගින්නේ හඬද්දී ලේ කිරි කර පොවා උස් මහත් කළ, යන්තම් ඇවිද ගන්නටවත් බැරිව සිටියදී නැගිටින්න වාරු දුන්,අපේ ජීවිත කාලය පුරාවට ම අපි වෙනුවෙන් කැප වුණු ආදරණීය දෙමාපියන්ට, අවුරුදු කිහිපයක්, එහෙමත් නැත්නම් මාස කිහිපයක් හෝ දින කිහිපයක් හඳුනා ගත් අයෙකුට වඩා අපේ වියෝව දැනෙනවා. රිදෙනවා. ඔබට යමෙක් හෝ යමක් නැති වුණා යැයි සිතෙනවා නම්, ඒ මොහොතේ ම ඔබ සතුව තිබෙන දේ ගැන සිතන්න.. සෑම තත්පරයක දී ම මිනිසුන් 1.8 ක් මිය යන ලෝකයක තවමත් ජීවත් වීමට තරම් ඔබ භාග්‍යවන්ත බව සිතන්න..



ජීවිතය නැති කර ගන්න හිතෙනවා නම්, හිතෙන හැම දේ ම ලියන්න.. එපා වෙනකම් ම ලියන්න.. ඔබට ආයෙත් ජීවත් වෙන්න හිතෙන තුරු ම ලියන්න.. සමහර විට එයින් බොහොම වටිනා නිර්මාණයක් බිහි වේවි! මගේ මිතුරියක්‌ වරක් මට දුන්නු සටහනක, මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මේ කවිය තිබුණා. මෙතැනට එය අදාල ද දන්නේ නැහැ. නමුත් මට එහෙම හිතෙනවා..

ලෝ වැසි සැමගෙන් සැඟවුණු
ඔබේ සොඳුරු මුදු සෙනෙහස
මා හද ගැබ සුරැකෙන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..
හෙළනා දිගු සුසුමෙන් මිස
බැහැර හොයන මගෙ සෙනෙහස
කවියක් සේ බිහි වන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..


ඔබ හැර ගිය ආදරවන්තයා ගැන සිතීමෙන් පලක් නැහැ.. මේ ළඟදී වෙනි අයියා බුකියේ share කරලා තිබුණු photo එකක තිබුණා, "අප ආදරය කරන උන්, අප ළඟ රැඳීය යුතු යැයි නීතියක් නැත. සිදු විය යුත්තේ ඔවුන් කොහේ හෝ හොඳින් සිටීම පමණි." ඒ ගැන මොහොතක් සිතන්න.. ඔබ ඇත්තට ම ආදරය කළ අයෙක් නම්, කවදාවත් ජීවිතය නැති කර ගන්න තීරණය කරන්නේ නැහැ.. 

ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!




අක්බාර් පාලම මත ආදරය (කෙටි කතාව)






අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා පිස්සු නොහැදී බේරෙන්න ලැබෙනවා නම් වාසනාවක්.

ආදරය කරන කෙනෙක් ආදරයෙන් පරදින එක ජීවිතය නැති කර ගන්න තරම් දෙයක් නෙවෙයි. ඒත්, දන්න කියන කාලේ ඉඳලා ම ආශ්‍රය කරලා, හිතා ගන්න බැරි තරම් ලං වෙලා, ඒ තරම් ම, නැත්නම් ඊටත් වඩා ආදරය කරපු දෙන්නෙක්ට තමන්ගේ වැරද්දක් නැතිව, සමාජයේ යම් යම්  සම්මතයන් නිසා වෙන් වෙන්න සිද්ධ වෙනවා නම්, එතන දී හිත හදා ගන්න විදියක් තියෙනවා ද? ඊළඟ ආත්මයේ දී වත් අපි දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වෙන් වෙමු කියලා ඔයා කියද්දී, මම ඊළඟ ආත්මයක් ගැන විශ්වාස කරන්නේ නැති බව සමහර විට ඔයාට අමතක වෙන්න ඇති. 

කැම්පස් එකේ නිවාඩුවත් එක්ක ම ගෙදරට වෙලා තනියෙන් ඉන්නේ නැතුව, පේරාදෙණියේ ආවේ පිස්සු නොහැදී ඉන්න කියලා කියන එකේ වරදක් නැහැ.. ඇත්තට ම මම ආවේ ඒ මතකයන් අමතක කරන්න.සැරින් සැරේ ඔයා මට කතා කරන්න උත්සාහ කළත්, මම පිළිතුරු නොදුන්නේ ඔයාගෙන් ඈත් වෙන්න හිතාගෙන මේ ආපු ගමන ඵල රහිත එකක් කර ගන්න ඕන නැති නිසාමයි. පිළිගන්න අකමැති වුණත්, ආයෙමත් ගමේ ගියාම ඔයාව දකිද්දී ඒ අමතක කරපු මතකයන් හැම එකක් ම මතක් වෙන බව මම හොඳින් ම දැනගෙන හිටියා. 

වසන්තයේ අගදී ත්  පේරාදෙණිය බොහොම සුන්දරයි. කහ පාට ට, රෝස පාට ට රොබරෝසියා මල නොපිපුනාට රතු ම රතු පාටට මහා විශාල මැයි ගස් පිරී ඉතිරිලා යන්න තරම් පිපුණු මැයි මල්, මුළු පේරාදෙණිය ම ලස්සන කරනවා. සැරින් සැරේ හමන සිසිල් සුළං රැල්ලට පාට පාට මල් පෙති බොහොම සීරුවට පාවෙලා ඇවිත් ආදරෙන් පොළොව වැළඳ ගන්නවා. හරියට බොහොම කාලයක් වෙන් වෙලා හිටපු ආදරවන්තියක් තමන්ගේ ප්‍රියයා හමු වෙනවා වගේ..

අක්බාර් පාලම උඩට වෙලා පහළින් පෙනෙන ආදර වීදිය දිහා බලාගෙන ඉන්න මට, ආදරෙන් තුරුළු වුණු පෙම් යුවළ බොහොම හෙමින් ඒ දිගේ පියමං කරනවා දකිද්දී මතක් වෙන්නේ මගේ අතේ එල්ලිලා ගියපු ඔයාව.. ඒ හැම දේ ම දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. හරියට බොහොම ලස්සන දර්ශනයක් මවමින්, ඉර බැහැගෙන ගියාට පස්සේ අක්බාර් පාලම ඝන අඳුරේ ගිලෙනවා වගේ.

හිතේ ඇති වුණු කණස්සල්ලෙන් මිදෙන්න වෙන්න ඇති සමහර විට මම පාලමෙන් එහා පැත්තට යන්න ඇත්තේ. ඒත් පාලමෙන් එහා පැත්තේ, මහා විශාලව වැඩුණු කඩොලාන ගහ යට, පෙම් සුව විඳින පෙම්වතුන් ආයෙමත් මගේ හිත චංචල කළා. ලස්සනට පිපුණු මල් වලින් සැරසුණු, ක්‍රමානුකුල මාවත් දිගේ තේරුමක් නැතිව ඔහේ ඇවිදලා මම ආයෙමත්  ආවේ අක්බාර් පාලම උඩට. දැන් ටිකෙන් ටික ඉර බැහැගෙන යන්න සැරසෙනවා. පරිසරය පුදුමාකාර විදියට ලස්සනයි. පාලමේ එක බැම්මකට හේත්තු වෙලා ගඟ දිහාව බලාගෙන ඉඳිද්දී, මට කාලය ගත වෙනවා දැනුනේ නැහැ.

මගේ උරහිස මත කවුරු හරි සීරුවට ඇත තියනවා වගේ දැනුණු හින්දා ඒ දිහාව බැලුවා.

“මොකද මෙතන තනියම කරන්නේ? කතා නොකරන්නේ මාත් එක්ක තරහා වෙලා ද?”

ඒ ඔයාගේ ම සුපුරුදු ලයාන්විත කට හඬ..

මම කොහොම ද මගේ ඇස් අදහා ගන්නේ? ඔයා ඇත්තට ම මාව හොයාගෙන ඇවිත්..මගෙන් පිළිතුරක් නැති නිසා සැතපුම් සිය ගානක් ගෙවාගෙන, ඔයා මාව හොයාගෙන ඇවිත්..

“ආදරේ කියන්නේ මේක නෙවෙයි ද?”

මගේ උරහිස මත තිබුණු ඔයාගේ අත උඩින් මගේ අත තියන ගමන් මම මගෙන් ම අහ ගත්තා..





සැ.යු:
සම්පුර්ණයෙන් ම හිතලුවකි.. සැබෑ ජීවිතයට මෙලෝ සම්බන්ධයක් නැත!

ප/ලි:
නව කතාවක ලක්ෂණ වලට සමාන ලක්ෂණ සහිත කෙටි කතාවක් ලියන්න ආසාවක් තිබුණා. ඒ වගේ ම පේරාදෙණියේ දී අත්විඳපු සමහර දේවල් නිසා මෙහෙම ලියන්න හිතුණා.අඩුපාඩු බොහොමයක් තියෙන්න පුළුවන්. (භාෂාව ටිකක් බොළඳ වැඩි වීම ඇතුළුව) 
ඒවා පෙන්වා දීම ශක්තියක් වේවි!

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස


2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ..
පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි!

පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී

ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ඇවිද්දේ නෑ. ටිකක් හවස් වෙලා මාකස් එක පැත්තේ ගිහින් පැංචා, පන්දේ, පිසාචයා, කුබෝටා ඇතුළු පිරිස දැක බලා ගත්තා.

පළමු නාට්‍යය වුණු බර්නාඩා ගේ සිපිරි ගෙදර නාට්‍යය බලන්න ගිහින් පිනි බෑම නිසා ඇති වුණු රෝගී තත්වයෙන් ඊයේ වෙද්දීත් කුබෝටා සුවය ලබා තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් වතාවක් ප්‍රතිකාර ලබන්න සිදු වෙලා තිබුණා. අද වෙද්දී නම් ඔහුට බොහොම දුරට සුවයි. ඒ නිසා අද නාට්‍යය බලන්න නම් ඇවිත් හිටියා!
අද දවල් පැංචා, පන්දේ සහ මම පේරාදෙණිය උද්භිත උද්‍යානය බලන්න ගියා.. බොහොම කාලෙකට පස්සෙයි ඒ පැත්තේ ගියේ. දවස පුරා ම ඇවිද්ලා අන්තිමට යකා පාලම ළඟට ආයෙත් පාරක් ගියා. අපි පාලම මත ඉන්දෙද්දී කෝච්චියක් ආවා. රේල් පාරේ පැත්තක තියෙන යකඩ පටි මතට ගිහිනුයි අපි අයින් වුණේ. වැරදිලා වත් ආපහු ගොඩට දුවන්න ගියා නම් අනිවාර්යයෙන් ම පාලමෙන් පහලට වැටෙනවා.

කල්පනී අක්කා සහ අකිලා අක්කා ආයෙත් ගාලු යන බව දැන ගන්න ලැබුණේ හවස. ඒ පිසාචයා සහ බුල් බුල් සමග. කාලෙකින් කල්පනී අක්කා හමු වුණේ නැති නිසා නාදන් එක පැත්තේ ගිහින් ටිකක් වෙලා කියව කියව ඉඳලා වලට ගියේ. එයාලාගෙන් හෙට කෝච්චි තියෙන වෙලාවල් පිළිබඳව දැන ගන්නත් පුළුවන් වුණා. කොහොම වුණත් මම අද වලට ගියේ තනියම!

ඊයේ හවස් වරුවේ නාට්‍යය බලන්න ගියේ පැංචා සහ පන්දේ සමග. පෙරේදා නාට්‍යය පසුපස ම පේළියේ ඉඳගෙන බලලා ලබපු අත්දැකීම නිසා ඊයෙත් එහෙම වෙන්න දෙන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මට ඉදිරියට යන්න ඕන වුණා. නමුත් අනිත් එවුන් දෙන්නාට කම්මැලියි කියපු නිසා අපේ ගිනි කුරුල්ලා අයියා සහ ඔහුගේ ආදරණීය වෙන්ඩ භාර්යාව අක්කා හිටපු තැනට සම්ප්‍රාප්ත වුණා.අපි හිටියේ පුජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරපු පේලියට පසු පස පේළියේ. එහෙම කළේ, නාට්‍යය ආරම්භ කරන වෙලාව වෙද්දී, ඉදිරියේ ඉඩ තියෙන තැන් වලට පසුපස පේලි වල ඉන්න අයට එන්න ලැබෙන නිසා. කොහොමත් ස්වාමීන් වහන්සේලා වැඩි දෙනෙක් එතැනට වඩින්නේ නැති නිසා ඒ පේලි දෙකේ බොහොම දවසට ඉඩ තියෙනවා.

කලා පීඨය අසල ඇති පාලම

ඊයේ දවසේ මට හමු වුණු විශේෂිත ම පුද්ගලයා ගිනි කිරිල්ලි අක්කා! ඊයේ රඟ දැක්වුවේ චරන්දාස් නාට්‍යය. සෙනග වැඩි නිසා අපි ඊයෙත් කලින් වලට ගියා. ඒ හින්දා පැය දෙකක් විතර නාට්‍යය පටන් ගන්න කලින් වෙලාව තිබුණා. අපි තුන් දෙනා බොහොම වෙලා එක එක ඒවා කියව කියව හිටියා. (මගේ කියවිල්ල හින්දා ඒ දෙන්නට කතා කරන්න බැරි වුණා ද මන්දා.. එහෙම වුණා නම් සමා වෙන්න අයියේ.. හොඳේ!!)

පරාක්‍රම නිරිඇල්ල මහතාගේ, “චරන්දාස්” නාට්‍යය  කලින් නාට්‍ය වලට සාපේක්ෂව ගොඩක් හොඳයි කියන්න පුළුවන්. නමුත් සමහර තැන් වල අනවශ්‍ය විහිලු තිබුණා. (හිනා යන්නේ නැති එව්වා! කෙලින් ම කියනවා නම්, ගොන් පාට් වගේ එව්වා) නමුත් සමස්තයක් විදියට හොඳයි. කතාව නම් කලින් අහපු එකක්. සිදු වීම් පෙළ ගැස්වීම විශිෂ්ටයි! ඒ වගේ ම කරලිය නාට්‍ය කණ්ඩායමේ විශේෂතා ගොඩක් තිබුණා. එය ජාතින් කිහිපයක රංගන ශිල්පීන් ගෙන සැදුම් ලත් නාට්‍ය කණ්ඩායමක්. ඒ වගේ ම, නාට්‍යය අවසානයේ එක් එක් ශිල්පියා වේදිකාවට ඇවිත් තමන්ගේ නම සහ ගම ප්‍රකාශ කළා. එය මම මීට පෙර දැක නොතිබුණු දෙයක්. ඒ වගේ ම එය අගය කළ යුතු යයි හැඟෙනවා.

අද රඟ දැක්වුණේ, ධර්මසිරි බණ්ඩාරයන්ගේ, “ට්‍රෝජන් කාන්තාවෝ”  නාට්‍යය. කතාවට පසුබිම් වෙලා තිබුණේ ට්‍රෝයි නගරයේ විනාශ වීම. නාට්‍යය සම්භාව්‍ය ගණයේ නාට්‍යයක් කියන්න පුළුවන්. 1999 වර්ෂයේ හොඳ ම නාට්‍යයට හිමි සම්මානයත් හිමි කර ගත්තේ ඒ නාට්‍යය! මට දැනුණු විදියට නම් ඒ නාට්‍යය තරමක් එපා වෙන ගතියක් තිබුණු එකක්. කතාව බොහොම ප්‍රකට එකක්. නළු නිළියන්ගේ රංගනය නම් විශිෂ්ටයි. භාෂා භාවිතයේ වැරදි නම් බොහොමයක් තිබුණා. කථනයේ දී ව්‍යාකරණ නිවැරදි වීම අත්‍යවශ්‍ය නැහැ. ඒත් අනවශ්‍ය පරිදි විධිමත් (formal) කිරීමට යාමෙන්  වැරැද්දීම නම් පිළි ගත නොහැකියි. ‘මම එය නොකළෙමි’ කියන වාක්‍යය කථනයේ දී ‘මම එය කළේ නැහැ’ හෝ ‘මා එය කළේ නැහැ’ ලෙස යෙදීමෙන් සැලකිය යුතු වරදක් දැනෙන්නේ නැහැ. නමුත් එය ‘මා එය නොකළෙමි’ යැයි යෙදීමෙන් වැරදි ආදර්ශයක් සැපයෙනවා. මේ වරද අද නාට්‍යයේ මා වැඩි වශයෙන් දුටු දෙයක්. ඒ හැරුණු විට ඒකාකාරී බව නැති වෙන්න හාස්‍ය රසයක් යම් තරමකින් හෝ එකතු වුණා නම් වඩාත් හොඳ යැයි හිතෙනවා.

යකා පාලම මත දී කෝච්චියක පැමිණීම



මේ ටිකේ බලපු නාට්‍ය හැම එකේ ම වගේ දෝෂ මහා ගොඩක් දැකපු රත්තා නාට්‍යයකට තිර පිටපතක් ලියලා. මට ඒක කියවන්න දුන්නා. ඒත් තවම කියවන්න නම් බැරි වුණා. අනිවාර්යයෙන් ම යන්න කලින් බලන්න ඕන.

රෑට ටිකක් රස්නේ වගේ නිසා මම කාමරේ ජනේල ඇරලා නිදා ගන්නේ.පරණ අවුරුද්දට සහ අලුත් අවුරුද්දට හැරුණ ම නිකම් වත් නාන්නේ නැති රත්ගමයා අයියාට පිනි බෑමෙන් බොහෝ ගැටළු ඇති වෙන බව දැනුම් දුන්නා. ඒ හින්දා ඊයේ සහ පෙරේදා එයා එහා කාමරේ නිදා ගත්තා. අදත් ගොඩක් දුරට එහෙම වේවි!

මේ ගත වෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, අක්බාර් ශාලාවේ මම ගත කරන අවසාන රාත්‍රිය. රත්ගමයා සමග ගත කරපු සතියේ අවසාන පැය කිහිපය. ඉරිදා උදේ ගාල්ලෙන් පිට වෙලා රත්ගමයා, පිසාචයා, බුල් බුල්, මගෝඩියා සහ තවත් කෙල්ලෙක් ඇතුළු පිරිස එක්ක පේරාදෙණියට ඇවිත් මේ වෙද්දී දවස් 6ක් ගත වෙලා.

මෙහෙට ආවට පස්සේ අපේ බැචාලා හතර දෙනෙක් මුණ ගැහුණා. උන් හතර දෙනාගෙන්  දෙන්නෙක් හෙට මාත් එක්ක යන්න එකතු වෙනවා. තව ගිනි කුරුල්ලා අයියා හෙවත් ටොපියා එන බව කිව්වා.හෙට උදේ 10.30 ට පේරාදෙණියෙන් පිට වෙන දුම්රියෙන් අපි ආයෙත් ගම රට බලා යනවා.

උඩවැඩියා විශේෂයක්

රත්තා හෙවත් රයියෝ!
කැම්පස් එකටා ආපු දවසේ ඉඳන් මේ වෙනකම් සහෝදරයෙක් සහ යාලුවෙක් විදියට උඹ ගොඩක් උදවු කළා. උඹේ කාමරේ මට දීලා උඹ වෙන කාමරේකට ගියා.මම ෆන් එකට උඹට මඩ කොච්චර ගැහුවත් ගණන් නොගෙන,ඒවාට  උඹත් මාත් එක්ක ම හිනා වුණා. හෙට මම යනවා මචං. මෙච්චර කල් කරපු හැම උදව්වකට ම බොහොම  පිං! ගිහිං එන්නම්! ජය!!






විශ්ව විද්‍යාලය තුල


ලංකා පොකුණ





ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 4 කොටස

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තරාදායක ම භුමි කලාපය වන රත්ගමයාගේ කාමරයේ වාසයට පැමිණ මේ වන විට දින 4 ක් ගෙවී ගොස් ඇති අතර මම තවමත් ආරක්ෂිතව, පසුවෙමි. ඒ ශුභ ආරංචියත් සමග මේ දිග හැරෙන්නේ එකී මෙහෙයුම් වාර්තාකරණයේ සිව් වන දිග හැරුමයි..


මාකස් ප්‍රනාන්දු ශාලාව

අද උදේ රත්ගමයාට ලෙක්චර්ස් තිබුණේ නැතත්, මට උදෙන් ම අවදි වෙන්න සිද්ධ වුණේ ඊයේ රෑ අපේ කාමරයේ නවාතැන් ගත් අනෙක් එකා කුකුළා අතේ අරං ගමේ යන්න තීරණය කරලා තිබුණු නිසා! රත්තා අවදි කිරීමේ තේරුමක් නැති වැඩේට කිසිම උත්සාහයක් නොදරා ම පිට වී යන්න ඒකා තීරණය කරලා තිබුණා! ඒ හින්දා මම උදේ 6 ට විතර අවදි වෙලා ආයෙත් ටික වෙලාවකට නිදා ගත්තා! අද ප්‍රැක්ටිස් තිබුණු නිසා රත්තා උදේ 9 වෙද්දී යන්න සුදානම් වුණා. විශේෂ වැඩක් නැති වුණත් මාත් ඒ වෙලාවේ ම අවදි වෙලා මුණ කට සෝදා ගත්තා!
අපේ බැචා ලා තුන් දෙනෙකුත් වල බලන්න එන බව ඊයේ කියලා තිබුණු නිසාත්, කරන්න විශේෂ වැඩක් තිබුණේ නැති නිසාත් මම පැංචා ට කතා කළා. ඒ වෙද්දී උන් හිටියේ ගමනේ අතර මග! තනියම ඇවිදින්න කම්මැලි නිසා රත්තාගේ ලැප අරගෙන ෆිල්ම් එකක් දිග ඇර ගත්තා! ඒක බලද්දී අපේ එවුන් තුන් දෙනා ගෙන් දෙන්නෙක් පේරාදෙණිය කරා ළඟා වෙලා තිබුණා.
පේරේ ඇවිත් දවස් හතරක් ම හිටපු හින්දා, පොර වගේ අද ම පෙරට ගොඩ බැහැපු එවුන් දෙන්නට, රට තොට පෙන්නන්න කියලා ගියා! දවස් හතරේ පුරුද්ද හින්ද ම ද කොහෙද එක පාරකට දෙපාරකට වඩා පාර වරද්ද නොගෙන යන්තම් පැංචාගේ අක්ක හිටපු රාමනාදන් එක වෙත යන්න පුළුවන් වුණා! ඒ යන ගමන යෙදුණේ විරු සිසු ස්මාරකය අසලින්.. 

විරු සිසු ස්මාරකය


ඊට පස්සේ අපි ගියේ උන් තුන් දෙනා නවාතැන් ගන්න නියමිත මාකස් එකට! මාකස් එකේ දී, අපිත් එක්ක නායකත්ව පුහුණු කඳවුරේ හෙවත් කෑම්ප් එකේ හිටපු එවුන් කිහිප දෙනෙක් ම හමු වුණා! ගාල්ලේ ඉඳන් ආවට පස්සේ කතා කරන්න පුළුවන් විදියට පිසාචයා හමු වුණෙත් එතන දී! 

මාකස් ප්‍රනාන්දු ශාලාවේ බරාදයක්
ආ ගිය තොරතුරු වලින් පස්සේ ගමන වල දිහාවට! අද පෙන්නන්න නියමිතව තිබුණේ ජයලත් මනෝරත්නයන්ගේ ‘තල මල පිපිලා’ නාට්‍යය. එහි ජනප්‍රියත්වය නිසා ම හවස 7.30 ට පටන් ගන්න නියමිත නාට්‍යයට පැමිණි අයගෙන් හවස 6 වෙද්දී මුළු වල ම පිරී ගිහින් තිබුණා.5. 45 වෙද්දී එතැනට ගිය අපටත් සිදු වුණේ සෙනග වැඩි නිසා අන්තිම පේලියේ අසුන් ගන්න යි.

7.30දර්ශනය සඳහා 5.45 වෙද්දී පැමිණි පිරිස

බටහිරයන්ගේ  අත පෙවීම් නිසා සහ උන්ට ගැති අපේ එවුන්ගේ ක්‍රියා කලාපය නිසා සංස්කෘතිය පරිහානියට ලක් වීම සහ අවශෝෂණය යැයි පටලවා ගත් සංස්කෘතික අනුකරණය බොහොම සියුම්ව නිරූපිත නාට්‍යයක් විදියට එය හඳුන්වන්න පුළුවන්. නාට්‍යයේ ළමා චරිතය නිරුපනය නම් අති විශිෂ්ටයි. කිසිසේත් ම කුඩා දරුවෙකුගෙන් අපි බලාපොරොත්තු නොවන රංගනයක් දැකගන්න ලැබුණා. නාට්‍යය අවසානයේ ඒ කුඩා දරුවා වෙනුවෙන් නැගුණු අත්පොලසන් නාදය ඊට සාක්ෂි සපයනවා. 

හැම දේක ම හොඳ සහ නරක කියලා පැති දෙකක් තියෙනවා වගේ ම, මේ නාට්‍යයේත් සමහර දුර්වලතා කිහිපයක් දකින්න ලැබුණා. ප්‍රධාන වශයෙන් ම නාට්‍යයේ දර්ශන කාලය ටිකක් වැඩියි. ඒ වගේ ම යොදා ගත් සමහර හාස්‍යෝත්පාදක කොටස් වලින්, අදාල කාර්යය නිසි ආකාරයට සිදු වුණේ නැහැ කියලයි මගේ හැගීම. ඒ හේතු දෙක නිසා ම අවසාන භාගයේ දී රසය නිසි ආකාරයට විඳින්න බැරි වුණා. ඒ වගේ ම සංස්කෘතිය විනාශ වීම, මිනිසාගේ පැවැත්ම අවසන් වීම ට හේතු වන බව පෙන්නන්න යොදා ගත් රොබෝ ගේ කොටස ඊට වඩා සාර්ථකව කරන්න තිබුණා.. ඒ වගේ ම නාට්‍යය අතර මග දී ලබා දුන් විවේකයේ දී වේදිකාවේ තිබූ භාණ්ඩ වෙනස් කිරීම කෙරුණා සාර්ථක මදි කියල යි මගේ හැගීම. 

කොහොම වුණත් නාට්‍යය අවසානයේ කුඩා දරුවාගේ රංගනය සුපිරි මට්ටමක තිබුණා.. විශේෂයෙන් ම අවසාන දර්ශනයේ දී.. සමස්තයක් විදියට ඉතා හොඳ නාට්‍යයක්. සෑම කෙනෙක් ම නැරඹිය යුතු නාට්‍යයක්. විශේෂයෙන් ම තරුණ සහ ළමා පරපුර වෙනුවෙන් ඉතා සුදුසු යි..

තල මල පිපිලා අතර මැද
අද වැඩිය ඇවිද්දේ නැති නිසා ලියන්න දෙයක් නැහැ. ඒත් හෙට නම් ලියන්න දේවල් තියේවි කියලා විශ්වාස කරනවා! හෙට පොස්ට් ඒකෙන් හමු වෙමු!

ප/ලි:
ගේ හිත කැලණිය පැත්තට ගිහින් වගේ..  හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආදරයට වයස ප්‍රශ්නයක් වෙනවා ද? ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ද?

ප/ප/ලි:
ගේ හිත ගිය තැන රත්ගමයාත් මාලිගාවක් හදන්න උත්සාහ කරනවා. ඒ වගේ ම මට තරඟයකට ආරාධනා කරනවා.ඒ හින්දා යාලුවා එක්ක වුණත් සෑහෙන්න තරඟයක දෙන්න වෙයි වගේ! මොකද කට්ටිය කියන්නේ? යාළුවා නිසා වැඩේ අතැරලා දාන්න ද?

ප/ප/ප/ලි:
කලින් පොස්ට් එකේ මයිනන් ගැන කතාවට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකට පිළිතුරු දීම සඳහා මේ වැඩ ටික ඉවර වෙලා ගෙදර ගිය ගමන් ම ඉක්මනින් ම පොස්ට් එකක් දානවා. 

රොබට්

සිත ඇදී ගිය තැනක්


අවසාන කොටස





www.arunalla.tk. Powered by Blogger.

පිටු පෙරලූ තරම්

Blogger Widgets

කලින් ලියපු ඒවා

අනුපිළිවෙල

මෙවන් අපරාධ යළි සිදු නොවේවා!

මෙවන් ඝාතන යළි සිදු නොවේවා. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජනප්‍රිය ලිපි

යන එන තැන්